Monday, August 1, 2011

" අමෙරිකාවේ ණය අර්බුදය උග්‍ර වෙයි " News First ...

අමෙරිකාවේ උද්ගතව ඇති මූල්‍ය අර්බූදය තවත් උත්සන්න කරමින් එරට සෙනට් මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දෙපිළ බෙදී සිටී.
 
ඒ, ණය ගැනීමේ සීමාව සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ පනත් කෙටුම් පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වී සෙනට් මණ්ඩලයේදී එය පරාජය වීම හේතුවෙනි.

අමෙරිකානු ව්‍යවස්ථාවෙන් සම්මත කර ඇති ණය සීමාව අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 14.3ක් වන අතර මේ වන විටත් එරට එම සීමාවට පැමිණ ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

අමෙරිකානු විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය ආණ්ඩුවේ ණය ගැනීමේ සීමා ඉහළ දැමිය යුතු බවට කෙටුම්පත් ඉදිරිපත් කළේ ඒ අනුවයි.

මතභේද ඇති වුවත් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී වැඩි ඡන්ද 8කින් සම්මත විය.

එහි දැක්වුණේ කෙටි කාලීන ණය ලබා ගැනීමේ සීමාව ඩොලර් බිලියන 900කින් ඉහළ දැමිය යුතු බවයි.

ආණ්ඩුවේ වියදම ද ඒ හා සමාන ප්‍රමාණයකින් පහළ දැමිය යුතු යැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා යෝජනා කළේය.


එහෙත් පාලක ඩිමොක්‍රටික් පක්ෂ බහුතරයක් සහිත සෙනට් මණ්ඩලයේදී එම කෙටුම්පත පරාජය විය.

සෙනට් මණ්ඩලයේ නායක හැරී රීඩ් පැවසුවේ, විකල්ප යෝජනාවක් සඳහා ඡන්ද විමසීමකට සුදානම් බවයි.

මේ අතර අමෙරිකානු ආණ්ඩුවට වඩා වියදම් කිරීමේ හැකියාවක් ලෝ ප්‍රකට ඇපල් සමාගම සතුව ඇති බව නවතම විදෙස් වාර්තා පවසයි.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට අනුව එරට මෙහෙයුම් මුල්‍ය ශේෂය අමෙරිකානු ඩොලර් බිලියන 73.7ක් වන අතර ඇපල් සමාගමේ නවතම මූල්‍ය දත්ත අනුව එම සමාගම සතු මෙහෙයුම් මූල්‍ය ශේෂය අමෙරිකානු ඩොලර් මිලියන 76.4කි.

මේ අතර අමෙරිකාව සිය මාසික ආදායමට වඩා අමෙරිකානු ඩොලර්බිලියන 200කට වැඩි වියදමක් දරණ බව විදෙස් වාර්තාවල සදහන් වේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අදහස් මෙසේ අදහස් පළකර තිබේ.

"මෙයින් ගැලවීමට බොහෝ ක්‍රම තියෙනවා. ඒත් අපට කාලය ඉතා සීමිතයි. අපි එකඟතාවකට පැමිණියේ නැතිනම් අපට ණය ගැනීමේ ශ්‍රේණිගත කිරීම්වල ත්‍රිත්ව ඒ තත්ත්වය අහිමි විය හැකියි. මෙය නැති වන්නේ අපට ණය ගෙවීමට මුදල් හිගයක් තියෙන නිසා නොවෙයි. අපට ඊට ගැළපෙන දේශපාලන වාතාවරණයක් නැති නිසයි. ඇතැම් අය කියනවා ඔවුන් බදු ඉහළ දැමීමට විරුද්ධයි කියලා නමුත් මේ ත්‍රිත්ව ඒ තත්ත්වය අපට අහිමි වුණොත් ඒ හේතුවෙන් මුළු රටේම ජනතාව‍ගේ බදු බර වැඩි වෙනවා. ඔවුන් ගත් ණයවල පොලී අනුපාතය ඉහළ යාම නිසා"